වැහි කඳුළු

මේ කවිය ගැන කිසිම විස්තරයක් කරන්න මම සූදානම් නෑ. නමුත් මේකට හේතුව නම් ලස්සන කතාවක් කියවගෙන යද්දි ඒකට ම ඈඳිලා යන විදිහෙ සත්‍ය අත්දැකීමක් එවැන්නකට මුහුණ දුන් මිතුරියක් මගින් දැනගන්න ලැබීම. ඇයගේ කතාව අහන ගමන් ලියවුණු දේ් තමයි මේ. නමුත් පෙර ඒව තරම් නම් ගුණාත්මක නෑ වගේ ගතියක් මගේ හිතට දැනුනා අවසානයේ. කිසියම් හේතුවක් නිසා, මම ලියන කවියක රහ මට නොදැනෙන මානසිකත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. සමහර විට වැඩ අධික නිසා වෙන්න ඇති. :)
කොහොම නමුත් "මේකත් මේ දැන් ම උස්සනව" කියල කියපු මගේ ප්‍රාණසම මිතුරිය නිසා  බ්ලොග් එකේ පල කරන්න හිතුව. 


අකල් මන්දාරම් 
අඳුර මැද
දුරුතු අහසම
කළු කරද්දී....
හිත් අහසටත්
කළු වලාවන්
මටත් රහසෙ ම
රැස් වුණා.....
ගුගුරනා නිරුවත්
අහස් ගැබ
කළු කපා
විදුලිය කොටද්දී.....
හිතේ පතුලක
හංගලා තිබු
මතක අළුතෙන්
දැල්වුණා....
සිහින් සිරිපොද
මල් වහින තුරු
වියලි තුරු ලිය
බලා ඉද්දී....
පෙර දිනක
නුඹ දකිනු රිසියෙන්
මඟ බැලූ'යුරු
සිහිවුණා.....
සොඳුරු මල් වැහි
වියළි කතරක
සා පිපාසා
නිවා ලද්දී....
ඉරි තලා ගිය
හිතට පෙම් වැහි
නුඹ ගෙනා හැටි
සිහිවුණා....
මල් වැහි ම
නා කපන වැහි වී
රුදු ව චණ්ඩ ව
බිම තෙමද්දී....
නුඹෙ පෙම නමින්
මම හෙළු කඳුලින්
දෙකොපොල් ඉවුරු සේදී
බොඳ වුණා.....
සෙනෙහසේ ගං දෑල බිඳුණා....
ආ ගිය මගේ කටු කොහොලු ඇනුණා....
ඉස්සර ම දවසක මතක විතරක්
තවම තැන තැන සැඟව තිබුණා.....
නුඹ දන්නෙ නෑ
මං කඳුළු හෙළුවා
නෙතට බර වැඩි
වෙන තරම්....
දුරුතු අහසත්
වැස්ස වෙනුවට
කඳුළු බිඳු වස්සන
තරම්........
අර පේන අහසේ
කළුව නම්
මග‍ෙ හිතේ පිරි
දුක් කළුවමයි....
ඒ කළුව අතරින්
කෙටූ විදුලිය
මගෙ හිතේ පිරි
 
දුක් ගින්දරයි....
වැහි බිංදු වී
පොලොවට වැටෙන්නේ...
මම හෙළුෑ
නොතිරක් කඳුළුමැ'යි
අහසක් ම හැඬවූ
වියෝ දුක් මට
දුන්නෙ  මගෙ
සැලමුතු පෙමයි......


ප.ලි. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්න ම බැරි වුණා, සමහර වෙලාවට කවියක් දෙකක් කුරුටු ගාන්න නෙවෙයි, හිතන්නවත් වෙලාවක් නැති වෙන විදිහට වැඩ වැටිලා තිබුනු නිසා. අනිත් එක පාළුව, තනිකම දැනෙන්න නොදීපු කැම්පස් සෙට් එකේ පිස්සු යාළුවෝ ටික නිසා ජීවිතේ යන්න ගියපු පාරවල් වෙනස් වෙලා අලුත් අරමුණු වලට වැටිලා. ඒක නිසා ඇකඩමික් වැඩ වගේ ම බාහිර වැඩත් වැඩි වෙච්ච නිසා තමයි මේ විදිහෙ නිහඬබවක් අැති වුණේ. බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝට ම ගොඩක් ස්තූතියි. මම ලියන දෙයක් ලස්සනයි කියන වාරයක් ගානේ මට තවත් ලියන්න ඒක ධෛර්යයක්. අනිත් එක මට කෙනෙකුගේ හිතට දැනෙන නිර්මාණයක් කරන්න පුළුවන් බව ඇඟවීම තුලින් මට මං ගැන ම පුදුම හිතෙන තත්වයක් ඇති කලේ මේක කියවන ඔබ. ඒ නිසා දහස් වාරයක් තුති,  වචනයකින් හරි අගය කලාට සහ බ්ලොග් එක පැත්තේ ආපු හැමෝටම.

එකමත් එක කතාවක්

එකම කතාව හිත රිදෙන්නත්, හිත හැදෙන්නත් හේතු වෙන අවස්ථා කලාතුරකින් අපේ ජීවිත වල තියනව. සමහර දේවල් වල ඇත්ත හිත රිද්දන අතරෙ මතක හිත සනසනව. තිත්ත ඇත්ත හමුවේත් ඇතැම් විට වෛරය සහ කලකිරීම හිතේ අහලකටවත් නොඑන්න  හේතුව සමහර විට අර මතක වලට අපි කවුරුත් හිතින් තවමත් ආදරේ නිසා වෙන්න ඇති. කාලයත් එක්ක වෙනස් වෙයි කියල බලාපොරොත්තු තියන්න බැරි තරම් මිනිස්සුන්ව දුර එක්කගෙන යන්න මතක වලට පුළුවන්. පහලින් තියන කවියක් නොවන කවිය කියවල යාළුවෙක් දීපු කොමෙන්ටුවක් නිසයි පල කරන්න හිතුවේ. නැත්නම් මේව දකින්නෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.
"අඩෝ මං මේක නං උස්සනව, සිරාවට ම"
මදූකා.... උඹ මෙහෙම නොකියන්න මට මේක බ්ලොග් එකේ දාන්න තරං හයියක් නෑ. ඒක නිසා මේකෙ ක්‍රෙඩිට් එක උඹට!
෴෴෴෴෴෴෴෴෴
පෙර අතීතෙක
හදේ ගැඹුරක
ඇඳුණු දා
පෙම් සිත්තමක්....

සත්තමයි
සිහිනෙනුත් හෙව්වේ
කතා කරනා
ඇස් දෙකක්.....

අහිංසක හිත්
මලක්  දුටියෙම්
දෝර ගලනා
සෙනෙහසක්.....

ප්‍රේමයෙන් පැරදී
ගිලන් වී
සැනසුමක් සොයනා
හදක්.....

දුක හිතේ යටි
කොනක හංගා
ඇහුම්කන් දුන්
මගෙ කතාවට....

ඇස්වහක් කටවහක්
නම් නෑ....
සත්තකයි හිත
හැදු ලතාවට......

ඇස් දෙකක්
වෙනුවට මගේ හිත
තව හිතක් ලඟ
ගොළුවුණා....

හද පුදසුනේ
නුඹෙ නම තියා
මම පිදූ මල්
විකසිත වුණා..... 

තෙරපි තෙරපී
උල්දිය දැමූ
සෙනෙහසේ උල්පත
සිඳුනෙ නෑ.....

ඉස්සර ම හිත
තියා ගිය තැන
නිසා නුඹ ඒ
දුටුවෙ නෑ......

මං පමා වැඩි
බව හැඳින්නෙමි
මට උරුම
හැමදා තනිකමයි.......

එපා ඔය හිත
රිද්දගන්නට
නුඹෙ සතුට මගේ
මුළු ලෝකයයි......

කවමදාවත්
මගේ හීනය
එලි නොවී
තිබෙනා හැඩයි......

කමා කල මැන
සිත මරනු බෑ
නුඹට මම තව
ආදරෙයි......

෴෴෴෴෴෴෴෴෴

පුතුනේ.... මේ අහගන්න පුතුනේ....

අම්මලගෙ ආදරේ ගැන කොච්චර මොන දේ ලිව්වත් වටිනාකම ගැන නිර්වචනයක් දෙන්න අමාරුයි. මේ ලෝකෙ තියන පරාර්ථකාමී ම ආදරේ.... ආදරේ ලබන දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවෙන, ලොකේ තියන දරුණුම වේදනාවත් පුත්‍ර ස්නේහය නිසා ඉවසන, තමන්ගෙ ඇඟේ දුවන ලේ ටික පවා කිරි කරල දරුවන්ගෙ කුස පුරවන, අම්මෙකුගෙ ආදරේ දිග පළල මනින්න පුළුවන් ද? අපේ ජීවිත වල යෝධ සෙවණැල්ල වෙච්චි, අපේ කඳුලු පිසදාන්න කඳුලු ගඟක් වුණත් තමන් ම ඉවසපු, දරුවෙකුගෙ පුංචි වේදනාවකටත් හිත රිද්දගත්තු, නමුත් තමන් ට දැනෙන එකම වේදනාවක්වත් නිහඬ ව, නොහඬා ඉවසපු අම්මා....
කොයි තරම් ආදරේ හොයාගෙන ලෝකෙ වටේ ම ගියත් අන්තිමට අම්මගෙ ආදරේ ලඟ හිත නතර වෙන බව කියන්නත් දෙයක් ද?
"නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ....."

යනුවෙන් කපුගේ ගැයූවෙත්.,
"සෙනෙහස වැඩි දා සිත ද බොලඳ වේ
ලොව ම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවුණු දා..
අම්මා පමණයි ලඟ ඉන්නේ"

යනුවෙන් නන්දා මාලනිය ගැයුවෙත් ඒ නිසා වෙන්නැති.කර දණ්ඩ උස් මහත් වෙලා  අපි ලොකු මිනිස්සු වෙද්දි, අම්මගෙ ලෝකේ පුංචියටත්, අපේ ලෝකේ මහ ලොකුවටත් පේන්න ගනිද්දි අම්මලගෙ තීරණ, අම්මලගෙ උපදෙස්, අම්මලගෙ ආදරේ අපිට මගඇරෙද්දි
මහමෙරටත් වඩා දුක් උහුලන අම්මලගෙ හිත් රිදෙන වචන කියවෙන වාර අනන්තයි. අපි මේ ලෝකෙට බිහි වුණු දවසෙ විඳපු වේදනාව වගේ දස දහස් ගුණයක වේදනාවක් ඒ කටු තුඩු වගේ වචන පපුවට කිඳා බහිද්දි ඇගෙ හිතට දැනෙනව ඇති. ඒත් ඒ ආදරේ එහෙමමයි. කිසි වෙනසක් නෑ.... නුඹල අපි කවුරුත් අපේ අම්මලට හැමදාමත් අර පුංචි කාලෙ ඇකයෙ නිදපු පුංචි උන් ම තමා. අම්මෙකුගේ ආදරේ බර කොයිතරම් ද කියල තේරුම් ගත්ත දවසට අපිත් ආදරේ තේරුම් ගනීවි.
෴෴෴෴෴෴෴෴
දිවි ගඟුලේ වැල් පාලම
කැඩී බිඳී විසිරුණු දා
අත්වැල ගිලිහී ගියමුත්
කඳුලු බිඳක් නොහෙලිමි මා
පුතුනි නුඹේ ටිකිරි සිනා
හිතට සෙමෙර සැලූ නිසා

කිරි සිනා හසරැල්
පිරුණු මුව
සිඟිති දඟ පෑ
ලපටි අත පය
නිතර දොඩමලු
නිල් දෙනෙත් යුග
පුතුනි මට
මහමෙර වගෙයි....
කඳුලු පිසදා
සිනහ කැන්දන

නුඹ මගේ ලොව තනි නිරින්දා
මගේ පණ සම මැණික හින්දා
සතර අත වැට කඩුළු බන්දා
නුඹ ව රකිනෙම් මා බිලින්දා

දහදියෙන් කඳුලින් නැඟී
පුතුනි නුඹ දිවි දිනූ දා
කඳුලු බිඳුවක් නෙතග පැටලී
මඳහසක් මුව අගෙහි තැවරී
මං මගේ ලොව රැජිණ වී
කිරුළු දැරුයෙම් නුඹ අතින්....

නුඹ වැදූ මව් මමයි පුතුනේ්
නුඹ හැදූවෙත් මමයි පුතුනේ
නුඹට මව් පිය දෙදෙනමත් මං
පහන් කණුවයි ජීවිතේ.....

දෑතෙ නැලවුණු
ටිකිරි කුමරුන්
නුඹ ද පුතුනේ
ඉස්සර ම දා
අද මිනිසෙකී
කරදඬු මහත් වී.....

දකින විට නුඹෙ
පුංචි වෙනසත්
හිත හීනියට
රිදුම් දුන්නා...
ඇසුණු දා රළු පරළු බස්
නුඹෙන් මට
කඳුලු ගුලි
දෙනෙත'ගින් පැන්නා....

පුංචි දේටත් දුක හිතී
කඳුලු පුරවන් ඇස් දෙකේ
පුංචි සන්දියෙ හැඬුවෙ නුඹම ද.....
පුංචි සැකේකි මගෙ හිතේ්...
නෑ පුතුනි මට වරදින්න ඇති
තරහවක් නෑ මගෙ හිතේ...
හැමදා ම නුඹ මගෙ මැණිකමයි
කිසිම වෙනසක් නෑ මගේ...

දුකට නෙත් අග
පිරුණු කඳුලැල්
නුඹට
බර වැඩිදෝ....
මන්දා
සමාවෙනු මැන
පුතුනි මට
මම හැමදා ම
නුඹෙ මවුන් හන්දා......

෴෴෴෴෴෴෴෴෴

රැය ගෙවේ- සඳත් නිවේ...දුරයි ජීවිතේ

අත්දැකීමක් නොවී අත්දැකීමක් වුණු අතථ්‍ය යථාර්ථයක කතාවක් මේක. පෙම්වතුන්ට රාත්‍රිය බොහොම කෙටියි. නමුත් විඳවමින් විඳින ප්‍රේමයේ පරාජිතයන් ට රාත්‍රිය කොයි තරම් නපුරුකම් කරනවද?  නිදි නැති ව අඳුරට ඔරවගෙන, එහෙමත් නැත්නම් හිතේ කළුවර කඳුළු වලින් සෝදා හරින්න හදන ඒ ජීවිත වල කතාව මට දැණුනු හැටි.෴
ඉකුත් කලකදි
ඇසිල්ලක් වුණු
රාත්‍රිය.....
නුඹ ඇයිද
මෙතරම්
දිගු ව නපුරු ව
සිත දවන්නේ....
එදා මතකය
මෙදා සිහිනෙකි
පුරා නිදි නැති
දෙනෙත් තෙත් කළ
මොහොතකින්
පෙම් කවක් බොඳ කළ
හිත් අතර
වැට කඩුළු ඉදි කළ
කුරුටු ගෑවෙන
කවි දෙපදයක
හිත ගිලන් වී
හඬා වැලපෙන
හඬක් ඇති බව
ලොවට නොදැනෙන
රාත්‍රිය නුඹ......
එපා එන්නට
අඳුරු කළුවර
මගෙ හිතට ගෙන......