අහම්බෙන් වගේ අහන්න ලැබුණු අපූරු ගීත කිහිපයක් ගැනයි කියන්න යන්නෙ. ලියන්නෙයි කියල හිතාගෙන උන්නු දේවල් ටික පැත්තකින් තියලා, ඔක්කොම නවත්තලා මේ සිංදු ටික ගැන ලියන්න හිතුවෙ අද කාලෙ ඇහෙන ගීත කියල හඳුන්වන වචන ගොඩවල් වලට වඩා අර්ථයක් මේ ගීත වල දැණුනු නිසා. අහම්බෙන් හම්බුණා කිව්වෙ, යූ ටියුබ් එක පීරුවේ ගීත හොයන අදහසකින් නොවුණු නිසා. ඒත් ඉතිං හිතට දැනෙන ගීතයක් හමුවේ ඉගනගන්න දෙයක් ගැන තියන ආසාව දියවෙලා යන්නෙ ඉබේටමයි. ඒක නිසයි හිතට දැණුනු මේ ගීත කිහිපය ගැන කතා කරන්න හිතුවේ.
ඒ වගේ ම මේ හැම ටෙලි ගීතයකට ම පොදු ලක්ෂණ කිහිපයක් ම මම දැක්ක නිසා ඒ ගැනත් කියලම ඉන්නම්.
1. මේ සියළු ම ටෙලි නිර්මාණ කිසියම් සම්මානිත, විශිෂ්ට නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වූ ඒවා වීම.
2. සියළු ම නිර්මාණ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා අතින් නිර්මාණය වූ ඒවා වීම.
3. මේ සියළු ගීත වල හඬ මුසුවට නන්දා මාලනියගේ දායකත්වය ලැබී තිබීම. මම හිතන්නෙ මේ ගීත මෙතරම් ම මිහිරට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
අවර ගණයේ ටෙලිනාට්‍ය සංස්කෘතියක ගිලිල ඉන්න වත්මන් ලාංකේය ප්‍රේක්ෂකත්වයට නම් ඉඳහිටවත් අහන්න ලැබෙන මේ වගේ සොඳුරු අරුත්බර ගීත වල මිහිරියාව කොයිතරම් දුරට පත්තියම් වේවිද කියන එක ගැන නම් ප්‍රශ්නාර්ථයක් තිබෙන බව කිව යුතුමයි. ඉන්දියානු, කොරියානු ටෙලි රැල්ලෙන් නිර්වින්දනයට ලක් වෙලා ඉන්න අද කාලේ තාරුණ්‍යය මෙවැනි ගීත අසා ඇති ද යන්න පිළිබඳවත් මට ඇත්තෙ කුතුහලයක්. මේ ඇතැම් ටෙලි ගීත මාත් මුල්වරට ඇසුවේ අවුරුදු හයක් හෝ හතක කාලයේ දී. නමුත් මට විශ්වාසයි ජීවිතේ තුන්වැනි දශකයේ හෝ ඊට ආසන්නයට ළං වුණු පිරිසට නම් මේ කියන්න යන ගීත හිතේ කොණක හරි රැඳිල ඇති. ඒ අයගෙ මතකය අලුත් කරන්නයි, මේ ගැන වැඩි සංවේදනයක් නැති අයට දැනගන්නයි, කැමතිනම් අහලා රසවිඳින්නයි එක්ක ගීත ටික ගැන කතා කරමු එහෙනම්.
පළවෙනි ගීතය මට හමු වෙන්නෙ අනූව දශකයේ අග භාගයේ (හෝ දෙදහසේ මුල, මගේ මතකය නිවැරදි නම්) ජාතික රූපවාහිනියේ විකාශය වුණු බැද්දෙගෙදර ටෙලි නාට්‍යයෙන්. ප්‍රවීණ ගත්කරු ජයසේන ජයකොඩි සූරීන් ගේ එම නමින් ම යුත් නවකතාව ඇසුරෙනුයි සුදත් රෝහණ මහත්මයා මෙම ටෙලිය නිර්මාණය කලේ. උඩරට, වැව්බැඳි රාජ්ජේ සහ පානම් පත්තුවේ පැරණි ගොවි ජන සමාජය තුළ පැවති එක ගෙයි කෑම නම් විවාහ සම්ප්‍රදාය පදනම් කරගත් සිද්ධි දාමයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. අවාසනාවට වගේ නවකතාව කියවන්න ලැබිල නෑ. ඒ වගේ ම ටෙලිය ගැන තියෙන්නෙත් බොඳවුණු මතකයක්. නමුත් ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉන්ද්‍රජිත් නාවින්න සහ චම්පා ශ්‍රියානි මෙහි අති විශිෂ්ට රංගනයක යෙදුණු බව නම් මතකයි. පුංචි කාලෙ නොතේරුණු මේ තේමා ගීතයේ හැබෑ රසය දැනුනේ අවුරුදු ගානකට පස්සෙ නැවත අහද්දියි.
අකල් මාරුතෙන් ගිලිහී- අගාධයක නොරැඳුණු මල
වසන්තයෙන් පිට මං වී- නිවන්නයක පහනක් විය
අකල් මාරුතෙන් ගිලිහී.....
පෙම් දම් විලසින්- ලැබුණත් සරදම්
හිමියන් ඇසුරින්- ලැබුණා මනුදම්
රතැසින් අතරේ- දකිමින් දෙවියන්
අවමන් ලද මල- මිදුණා කඳුලින්
අඳුරක් නැති ලොව- පල කිම එලියෙන්
උණුසුම පැතුවා- ඇය ඇල් ගඟුලෙන්
හිරු සඳු අතරෙහි- දැල්වුණු පහනින්
ගෙපැලත් මිදුණා- විඳි දුක් කතරින්
අකල් මාරුතෙන් ගිලිහී......
පද- බන්දුල නානායක්කාරවසම්
සංගීතය- රෝහණ වීරසිංහ
හඬ- නන්දා මාලනී
ඊලඟ ගීත දෙකම හමු වෙන්නේ 2001- 2002 කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු අඹුදරුවෝ ටෙලි නාට්‍යයෙන්. මෑත කාලීන ව නැවත විකාශයක් බලන්න ලැබුණු නිසා තරමක මතකයක් තියනව. සුදත් රෝහණ මහත්මයා මේ ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නෙ ජයසේන ජයකොඩි මහත්මයාගෙ ම අඹුදරුවෝ නවකතාව ඇසුරින්. විවාහ ජීවිතය තුල හුදෙක් ප්‍රේමය පමණක් පදනම් කර නොගත් එකිනෙකා කෙරෙහි ගෞරවයෙන්, මෛත්‍රියෙන් සහ කරුණාවෙන් පිරුණු ශක්තිමත් අඹු සැමි සම්බන්ධයක් තුලින් ගොඩනැගෙන යහපත් පවුල් පරිසරයක් පිළිබඳ මේ කතාව විකාශය වූ කාලයට වඩා අදට ගැලපෙන බවයි මගේ හැඟීම. තේමා ගීතය සහ සමාප්ති ගීතය පමණක් ඇසීමෙන් මුළු කතාවේ ම හරය ගොඩනගා ගත හැකි විශිෂ්ට පද මාලාවක් සහිත ගීත දෙකක් මේ.
තේමා ගීතය෴
ඉපනැලි ද රඟයි
දෙණිපෙත ද සැලෙයි
ගම්දොර සැමරුම් හමුවේ....
මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ.....
මේ ගමන දුරයි
නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහේ....
නුඹ මවක වගෙයි
හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑස ම බොඳ වේ....
නොදැමුණු සුළඟේ් ඇයි නා මල සසල කලේ
නා මල ම තමා සැඩ සුළඟ ද නතර කලේ
සසරේ පසුපස එන තැවුලද උරුම වුණේ
එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ
මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ....
නුඹ මවක වගෙයි
හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑස ම බොඳ වේ.....
පද- බන්දුල නානායක්කාරවසම්
සංගීතය- රෝහණ වීරසිංහ
හඬ- නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ සමගින් රෝහණ වීරසිංහ
සමාප්ති ගීතය෴
අතීතාරාමයේ මතක මල් බොහොමයි
පර වුණත් මල් විසුල සුපහන් සුවඳ ලොව සනහයි
ඒ සුවඳ මැද අඳුර පිසලන පහන් කණු හමුවෙයි
අතීතාරාමයේ මතක මල් බොහොමයි....
කොයි තරම් නම් පැතුම් බිහි වී මියෙන්නට ඇතිදෝ
මෙර තරම් දුක් තනි ව උසුලා වසන් කර ඇතිදෝ
මල් දමක් නොවුණාට ගත වූ ජීවිතේ
රන් දමක් සේ බැඳී දිදුලන ආදරේ
උතුම් අරුතයි මේ බිමේ.....
සත් මහල් නොපැතුවද දෙගුරුන් දිවිය දෙව් ලොවකී
හස පියුම් කඳුලැල් ද එකසේ පිපුණු විල් දියකී
ගිරි හිසක් සේ නැගී දරුවන් මේ ලොවේ
සෙත් කවක් සේ ගැයී මෙත් ඉසිනා පැයේ
පහන් නොනිමෙයි මේ බිමේ......
හඬ- නන්දා මාලනී සමගින් සුනිල් එදිරිසිංහ
2000 මුල් භාගයේ සුදත් රෝහණ මහත්මයා ඇති කරන්නට උත්සාහ කල රටාවේ දිගුවක් විදිහට කරුවල ගෙදර නිර්මාණය වුණේ මෑත අතීතයේ දී. හෙලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ගේ කරුවල ගෙදර නවකතාව පාදක කරගත් මේ ටෙලි නාට්‍යයේත් තේමා ගීතය ඉතා අපූර්ව සහ අර්ථාන්විත වූවක්. විමතියට කරුණක් නොවේ, මෙහිත් පද රචනය බන්දුල නානායක්කාරවසම් මහතාගේ.
අහසට තරු ඇයි මෙතරම්
අහසේ තරමට ගිලිහෙන තරමට තරු ගැන ඇයි මේ විපරම්
මේ විපරම්
හැම තරුවම ගිලිහෙන්නෙ නෑ
ගිලිහෙන තරු ගැන අහසත් කිසි දා දන්නේ නෑ....
මතකය වෙරලකි සිහින සිතිජ ඉමේ
සිතිජය හැර නිම්තෙර දකිමු කෙසේ
පහන් ටැඹක් වී දැල්වෙමි දියඹ දිගේ
නිම් තෙර දකිනා දින මහ දුරක නොවේ
ගමේ වෙරල හමු වෙනු නැත නගර දොරේ
වෙරල වෙනස් වුව හද එකමයි දෙතැරේ
අප සැඟවූවත් අප'තර ඇති යම් දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
අහසට තරු ඇයි මෙතරම්......
සංගීතය- නවරත්න ගමගේ
හඬ- නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ සමගින් ශානිකා සුමනසේකර
2008 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන දිනූ සමරවීර විජයසිංහයන්ගේ ස්වයංජාත නවකතාව ඇසුරින් රෝහණ මහත්මයා නිර්මාණය කළ ටෙලිනාට්‍යය මෑත කාලීන ව කතාබහට ලක් වූ නිර්මාණයක්. ප්‍රේමයේ උත්තරීතර භාවය පිළිබඳ අපූර්ව චිත්‍රණයක් සහිත ගැඹුරු රසයකින් හෙබි තේමා ගීතයක් මෙහි අඩංගුයි. ලෞකිකත්වය ට එහා ගිය සදාතනික ධර්මතාවයක් පිලිබඳ විනාඩි කිහිපයක් තුළ ඔබේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් උසස් රසවින්දන තලයකට ගෙනයන විශිෂ්ට ගීතයක්. ටෙලි නාට්‍යයෙන් වෙන් කර වෙන ම රසවිඳිය හැකි වීමත් විශේෂයි.
පාරමී දම් පුරා සපැමිණ
එකට හමු වී වෙන් ව යන සඳ...
කියාගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින...
ලේ නහර ඇට මිදුලු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි
ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී ලයෙන් ලය සැනහිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වය ම සුවපත් කල හැකියි
නිතින් සසර දුක ජයගන්නට පේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී....
පද- බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය- නවරත්න ගමගේ
හඬ- නන්දා මාලනී සමගින් සුනිල් එදිරිසිංහ
බොහොම මෑතක විකාශය වූ ශාන්ති දිසානායක මහත්මියගේ නවකතාවක් ඇසුරින් සුදත් රෝහණ මහතා නිර්මාණය කළ ගිරිකුළ ටෙලි තේමා ගීයෙන් මේ කතාව අවසන් කරන්නම්. විවිධාකාර දුක් කම්කටොලු හමුවේ ජීවිතේ ගිරිකුළ තරණය කල දිරිය ගැහැණියක වටා ගෙතුණු මේ ටෙලි නාට්‍යය මෑත කාලීන ව මම දුටු ප්‍රශස්ත ම නිර්මාණ අතලොස්ස අතර එකක්.
දුක එලාගෙන පයට පාවඩ සේ
දුක ම හිස ලා දුරක යන ගමනේ
අතරමඟ නතර වී බැලූ සඳ
ජීවිතේ ගිරිකුල උසයි ඈතයි
ගැල් පුරා දිවි බර දරා
දිය බිඳක් වත් නොමැති කතරේ
වැසි පතා වෙහෙසී අඳුරේ
හෙලන සුසුමන් ළය රිදුම් ගෙන දේ
සිත් සතන් නිවෙනා ඉසව්වේ
විටෙක කෙම් බිම් මුණගැසේ
කප් රුකක සෙවණැලි ඉසේ
ජීවිතේ නව තුරුලතා දළුලයි
කඳුුලු විල් වැසි අසෙනි සමයේ
ගැල් කැඩී කප්රුක සිඳී
ඉතිරි දුක පපුතුර දරා
අචිරවතියෙන් එතෙර වන යාමේ
සසර තව දුර බව හැඟෙයි