එදා මතකය මෙදා සුවඳයි සිහිනයක් වී සිත වෙලන්නේ

කියන්නට බොහෝ දේ ඇතිමුත් නොකියා සිටීම යෙහෙකැයි සිතේ. හඬන්නට අවැසි මුත් නොහඬා සිටීම අත්‍යාවශ්‍ය බව සිත කියයි. නමුදු සිහි කරන්නට මතක ගොන්නක් තුරුළු කරගත් අතීතයක් තිබියදී.....??? නිහඬ ව නොහඬා සිටීම අපහසු ය.
ඇරඹුම කොතැනදැයි නොදනිමි. නුමුත් එවැන්නක් තිබූ බව දනිමි. සිදු වන සහ සිදුවූ අන් සියල්ලකට ම මෙන් එයද එසේම ය. නිශ්චිත ව කොතැනදැ'යි කිව නොහැකි බොඳ වූ ඉමක් සහිත අතීතයක්!
එක්තරා කාලයකට ඉහත කොහේදෝ සිට පැමිණි කෙල්ලන් රොත්තක් සහෝදර බැම්මකින් බැඳුනු බවට සාක්ෂි දැරූ අතීතයක්. මට අනුව නම් බොහෝ අතෘප්තිකර සිදුවීම් මාලාවක් මැද සිදුවූ එක ම හොඳ දේ එයයි. මක් නිසාද යත්: ආදරය කල සියල්ලෙන් වෙන්වී, ඇතුගල පාමුල ඉදි වූ හරි පුදුම ඉස්කෝලෙට සමු දී පැමිණි මට කිසියම් හෝ සහනයක් වී නම් ඒ පෙර කී කෙල්ලන් රොත්තය. උන් ද මා මෙන් එක්තරා අවස්ථාවක හදවතට පිටු පා මොලයට ඉඩදී අලුත් පාසලේ කලකට අතරමං වූවෝ ය.
වසර 4 කට පෙර අමුත්තන් ලෙස හමු වූ අපි පාසල් ගේට්ටුවෙන් වසර දෙකකට පෙර සහෝදරියන් ලෙස නික් ම ගියෙමු. එකෙකුගේ දෑසේ නැගෙන කඳුලින් අනෙකා ගේ දෙනෙත් තෙත් වන තරමට අප එකාවන් ව සිටියෙමු. අද එහි උපරිම අවස්ථාව අත්විඳිමින් නොඑකුත් ප්‍රශ්න හමුවේ හිස ඔසවා සිටි බැවින් මම එය අන් කාටත් වඩා හොඳින් දනිමි. ලෙය ගනකම් ය. එහෙත් මෙය? මේ බැඳීම ඊට වඩා ඝන ව ගැඹුරට ම විහිද ඇත්තේය.
අතේ ඇඟිලි පහ වත් එක වගේ නොවුනු කල, මේ කල්ලියේ සාමාජිකාවන් ද එකිනෙකාගෙන් වෙනස් වූ බව කියන්නත් දෙයක් ද? උස, මිටි, කලු, සුදු නානාප්‍රකාර පිරිසක් වූ අපි ගතිගුණ සහ හැකියාවන් අතින්ද එසේ ම වීමු.
එකෙකුට chemistry පේන්න බැරිය. තවකෙක් chemistry සමග දීග ගොස් සිටියාය. ( වරදවා වටහා නොගනු මැනවි, ඇගේ chemistry ආලය ඒ තරම් ම බරපතල ය.) බැරි එකා සියල්ල පටලාගත් කල අසන දහසකුත් එකක් "අතිශය තර්කානුකූල" ප්‍රශ්න හමුවේ හෙම්බත් වන එහෙමකට chemistry බැරි ඒත් බැරිමත් නැති අපේ පිලිතුර  වන්නේ "හාවි" ගෙන් අහන්න යන්නයි. ඇය රසායන විද්‍යාවේ අපේ කාලයේ මෙන්ඩලීව් වූවා ය.
12 ශ්‍රේණියේ ඉගනගත් කාලය තුල project period එක කට් නොකල දවසක් නැත. හීන් සීරුවේ පුස්තකාලයට රිංගා ගන්නා මේ යම කෙල්ලන් රොත්ත ඉන් පසුව කරන්නේ බරට ම ගණන් හදන මුවාවෙන් ටොන් ගාණට ඕපාදූප හැලීමයි. එක්තරා ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයෙකු ( එන්රික් ඉග්ලේසියස් නොවන බව කරුණාවෙන් සලකන්න) සියලු ආකාරයේ නව නිංගිරාවන්ට මෙන් ම සියලු ආකාරයේ කීර්ති ප්‍රශංසාවන්ට ද ලක් වූ බව මට හොඳින් ම මතක තියේ. එසේ හෙයින් ම විභාගයට මාසයක් පමණ තිබියදී කණ්ඩායම් ව්‍යාපෘතිය අපි නාමලී මැඩම් ගේ මේසය මත එක රැයින් ප්‍රාදූර්භූත කලෙමු. ඒ උනන්දුව කලින් තිබුනේ නම් එකට දහයක් ව්‍යාපෘති කල හැකිය.
Interval එකට පසු ඇත්ත‍ේ ඉංග්‍රීසි නම් එදාට කාලය ගොලුබෙල්ලෙකුටත් වඩා හොඳට ගොලුබෙලි ගමනින් යයි. හැදිච්ච ගෑනු ලමයින් විදිහට කන වෙලාවට කල යුත්තේ එය පමණය. ඒත් ඒවා අපිට අදාල නැත. ඉතිං කන ගමනුත්, කාල ඉවර වූ විටත්, අත හෝදන්නට යන ගමනුත්, තවත් මදිනම් කැන්ටිමට යන විටත් අපට කියන්නට බොහෝ දේ තිබිණ. මොකුත්ම නැති වෙලාවට පවා! ඔව්!! එවැනි විටක අප පසුකර යන සිසුවියක් හෝ ගුරුතුමියක  අපගේ අනුකම්පා විරහිත උපහාසාත්මක විවේචන වල ගොදුර බවට පත්වේ.
හරියට chemistry ඉගනගන්නට පටන් ගත් දා පටන් lab එකට තහංචි නොවැටුනේ නම් අප විසින් සිදු කරනු ලබන අතිශය විශ්වාසදායී විද්‍යාත්මක පර්යේෂණ හේතුවෙන් බොහෝ දේවල් වෙනස් වන්නට තිබිණ. මේ කතාව ද වෙනස් වන්නට තිබිණ. කෙසේ වෙතත් භෞතික විද්‍යාගාරය තුළ අපට කල හැකි දේ සීමිත යැයි අප ගුරුතුමිය සිතූ අතර එය ඉතා ම වැරදි සිතුවිල්ලක් බව අප පාසලෙන් ඉවත් ව යන තුරුත්, ඉන් පසුවත් ඇය  එය වැරදි බව වටහා නොගත්තාය. හැමදාම practical period එකේ අලුත් අත්දැකීම් ලැබීමට එය මහත් පිටුවහලක් විය. පොතේ ඇති විදියට නොව, උත්තල කාචයක් මගින් ආලෝකය නාභිගත කර කාගේ දෝ ගවුමකට ගිනි තියන්නට ගිය දවසේ අපි හොඳවැයින් ම ජාතිය ඇමතීමට ලක් වීමු. ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ෂණ වලදී, practical board එකේ වයර් පටලවනවා මදිවාට මැඩම් ගේත් වයර් පටලවා අයිස් ගැසීම අපේ සුපුරුදු චරියාව විය. ඇගේ වයර් ඔක්කෝම පටලවන්නට අපේ එකකුගේ serious මූණක් සහ අති පණ්ඩිත කතා දෙක තුනක් ප්‍රමාණවත් වීම පෙර වාසනාවක් විය.
හවස පන්ති යාමේදී 2.30 ට පටන් ගන්නා පන්තියට අප පිටත් වන්නේ 1.45ට ය. උනන්දුව එතරම් ය. පන්තියට මීටර් 50ක් පමණ මෙහායින් ඇති සෝයා අයිස්ක්‍රීම් කඩය  දකින විට තද අව්වට දියවී යන්නේ අයිස්ක්‍රීම් වෙනුවට අපේ පන්ති යාමේ උනන්දුවයි. අන්තිමට අපි 2.30 වෙද්දී පඩිපෙල නගිමින් සිටිමු. හද්ද චාටර් බාල්දි හැමදාම මට ය. පය පැකිලෙන්නෙත් නරක වෙලාවට ය. ඉදින් නැගිටින්නට අත දෙනු වෙනුවට කට්ටිය ම වටවී කටත් ඇරගෙන බලා සිටින විට මට අපේ උන් පිලිබඳ පුදුමාකාර සෙනෙහසක් උපදී. අන්තිමේදී පටන් ගෙන විනාඩි 10ක් පමණ වූ පන්තියට අප ඇතුළු වන්නේ සියල්ලන්ගේ ඇස් වල ට ගොදුරු වෙමිනි. වැරදිකරුවන් පේලියට ගොස් පිටුපස ම බංකුවක වාඩි වෙන අවස්ථාවේ දී කට පියාගෙන ඉන්න ම බැරි එකෙකු ගේ කිචි කිචිය පුපුරා යයි.
ඒ සියල්ල දැන් අතීතයට අයත් ය. එක්තරා සන්ධිස්ථානයක දී අපි එකට ආ මග වෙනස් කල යුතු බවට දෛවය විසින් නියම කර තිබිණ. 14 සැප්තැම්බරයේ එකෙකු එක මගක ගියේය. 15  ජනවාරි වෙද්දී තවත් දෙදෙනෙක් ඉරණම සොයා නික්ම ගියෝය. 15 දෙසැම්බරය වෙද්දී ඉතිරි ව උන්නේ මාත් තව එකෙකුත් පමණි. අපි ද අවසානයේ දෙමගක ගොස් ඇත්තෙමු. ඉතින් කිසිවක් පෙර ලෙසට නොපවතිනු ඇත්තේය. කාලය නම් මෙයයි. එය මොහොතින් මොහොත අලුත් වන විට මතක පොතේ තවත් පිටුවක් පෙරලේ.
වයසින් වැඩෙද්දී බොලඳ ලෙස පෙනිය හැකි නමුත් වසර හතරක අතීත යටගියාව තුල වයසින් නොවැඩෙන අවුරුදු 18ක පාසල් කෙල්ලන් රෑනක් දිවි තිබෙන තුරාවට ජීවත් ව සිටිනු ඇති බව නම් අන් කිසිවකටත් වඩා විශ්වාසය.
සොයුරියනි
මුණගැසෙමු
ආයෙමත් දවසක
හමු වෙලා සිනා සී
මතක යලි ගොඩ ගනිමු
ජීවිතේ කාලයක
අපි ගෙවූ සුන්දරම
අතීතය තාමත්
තරුණයි.......
සොඳුරුයි...
පෙර සේම......

No comments:

Post a Comment