කුරුටු ගාන ආසාව







මතකද පුංචි කාලේ?? අපි හැමෝටම ආසාවල් තිබ්බා. සමහර පුංචි පිරිමි ළමයි සෙල්ලම් කාර් වලට ආසයි. ඒවයින් සෙල්ලම් කරන්න විතරක් නෙවේ.... ටික දවසක් යද්දි පොඩිකමට මතුවෙන පණ්ඩිත ඉංජිනේරු මොලේ නිසා කාර් එක කෑලි කෑලි වලට ගලවල ඒකෙ වෙන්නෙ මොකද්ද කියල බලන එකත් එයාලගෙ හැටියක්. ඒ අතරෙ පුංචි ගෑණු ළමයි ආස වෙන්නෙ බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න. සෙල්ලම් ගෙවල් වල බෝනිකි දූලට අම්මල වෙලා බත් කවන්න, නලවන්න. තව ඉතින් උස්සගන්න බැරි තරමට බර, පටලගන්නත් බැරි තරම් දිග, අම්මගෙ සාරියක් ඇඳගෙන අඩියක් තියල අඩියක් මාරැ කරද්දි පැටලිලා වැටෙයි කියල හිතෙන තරම් අඩි උස සෙරෙප්පු දෙකකුත් දාගෙන වේවැලකුයි බරට බරේ පොත් මිටියකුයි අරන් සෙල්ලම් ඉස්කෝලෙ ටීචර් වෙන්න. මේව තමයි අපේ පුංචි ලෝකෙ සෙල්ලම්. පුංචි කාලෙට අපි කාට කාටත් තියන මේ වගේ ලොකු ලොකු ආසාවල් වල කෙලවරක්  නෑ.
හැබැයි ගොඩක් ගෑණු ළමයි සෙල්ලම් ගෙදර අම්මයි, ඉස්කෝලෙ ටීචරුයි වෙද්දි පිරිමි ළමයි මිකැනික් බාස් ල වෙද්දි, රෝල් ඩාල් ගෙ මැටිල්ඩා පොතේ ඉන්න පුංචි කෙල්ල; මැටිල්ඩා වගේ තමන්ගෙ වටේ පොත් ගොඩක් දිග ඇරගෙන, මුල්ලකට වෙලා ඒව කියවන ගමන් කොළටක් පැන්සලක් අරන් කුරුටු ගාන්න පුරුදු වෙච්ච, බලාගෙන ඉන්න කෙනෙකුට නං ටිකක් අසාමාන්‍යයි කියල හිතෙන (ඒත් ඇත්තටම නං එහෙම නැති) සමහර ළමයිනුත් හොයාගන්න නැතුවම නෙවේ. පැත්තකට වෙලා දඟ නොකර ඉන්න එකෙන් අහල පහල ගෙවල් වල ඇන්ටිලගෙන් full credit එක ගන්නත් මෙයාලට පුළුවන්. මේ කියන මමත් පුංචි කාලෙ ටිකක් අන්න ඒ වගේ චරිතයක්. (දැන් ඉතින් මේක කියවන මාව දන්න ම අයගෙ මූණෙ ලොකූ හිනාවක් ඇඳෙනව නම්..... ඒ ඔයාලත් චූටි තාරා ව දන්නෙ නැති නිසා. එහෙම වෙනව නං ඒකෙ අසාධාරණයකුත් නෑ.)
මම උපතින් ම වමත හුරු කෙනෙක්. ඉතිං ඉස්කෝලෙ යන්න කලින් (අම්මගෙ සාරි පොටේ එල්ලිලා මොන්ටිසෝරි වෙනුවට ඉස්කෝලෙ ගිය කාලෙ) මට 'න' යන්න, 'ත' යන්න, 'ක' යන්න වගේ අකුරු හරියට ලියාගන්න බෑ. හරියට අකුරු ලියන්න කොහොමත් දන්නෙ නැති කාලෙන‍ේ.... ඒ අකුරු ඔක්කොම ලියවෙන්නෙ අනිත් පැත්තට. මං කොහෙහරි කුරුටු ගෑවොත් කාට වුණත් අඳුරගන්න පුළුවන්. දවසක් ඉස්කෝලෙ පුස්තකාලෙ තිබ්බ ශබ්ද කෝෂයක මුල් ම පිටුවෙ මම රතු පෑනකින් ඔය විදිහට අකුරු කුරුටු ගෑව මට මතකයි. කිසි ම අදහසක් යන්තමින්වත් ගැට ගහගන්න බැරි නොතේරුම් කාලෙ වුණත් පෑනක්, කොලයක් අහුවුණොත් අඩුම තරමේ පැස්ටල් කූරක් එක්ක ඔප දාපු ගෙබිමක් වුණත් මට ඒක ලොකු දෙයක්. බලි රූප අඳින්නෙ නැති උණත් එපා කියල නවත්තනකන් ම මම දන්න අකුරු කුරුටු ගගා ඉඳියි. කොච්චර තේරුමක් නැති වුණත්.
නොතේරුම් කමට අකුරු කුරුටු ගාපු මගේ කුරුටු ගාන ආසාව වෙනස් වෙලා, ලස්සන වෙලා ඔප වැටුනේ එක වසර පන්තියෙ පන්ති භාර ටීචර් නිසා. දෙන හැම වැඩක් ම ඉවර ම කරනකම් හුස්මවත් ගන්න හිතෙන්න‍ෙ නැති ජන්ම පුරුද්ද හින්දම ඉස්සෙල්ල ම පොත පෙන්නන්නෙ මම. එතනින් පස්සෙ මාව එක තැනක රඳවල තියාගන්න පුළුවන් හොඳ ම විදිහ මට කියවන්න පොඩි කතන්දර පොතක් දෙන එක. ඒක හරියට ම කෑ ගහන පොඩි ළමයෙක් ගෙ කටේ ලොලිපොප් එකක් රඳවනව වගේ මානසික අල්ලසක්. මාව බොහොම තියුණු විදිහට නිරීක්ෂණය කරපු ටීචර් ට මේක අඳුරගන්න වැඩි කාලයක් ගතවුණේ නෑ. ඉතින් ප්‍රතිඵලය වුණේ අකුරු අඳුරගෙන බොහොම ටික කාලයක් යද්දි; ඒ කියන්නෙ දෙක වසරෙ විතර ඉගෙනගන්න කාලෙ වෙද්දි, අමරයි නයනයි එක්ක අනිත් ළමයි සල් මල් කඩද්දි මම උපාලි ගිනිවැල්ලෙයි, ජින්නයි එක්ක මඩොල්දූවට පාරුවෙන් ගිහින් වගා කරපු එකයි.
පොත් කියවන පුරුද්ද ඇති වීමත් එක්ක ම ඔහේ කුරුටු ගාපු ආසාවට තේරුමක් ආවා. මගෙ හිත ඇතුලෙන් අමුතු අමුතු අදහස් මතු වෙද්දි ඒව ඉස්කෝලෙ රචනා වලට, තව වසර ගාණක් ගත වෙද්දි සාමාන්‍යපෙළ සාහිත්‍ය රසාස්වාද ප්‍රශ්න වලට උත්තර විදිහට එලියට ආවා. වැඩි සැලකිල්ලක් නොතිබුණු නිසා ම අතරින් පතර ලියවුණු නිර්මාණයක්වත් ළමා පත්තරේකට යවන්න තරම් වත් මට හිතක් හිතුණෙ නෑ.
කොහොමින් කොහොම හරි උසස් පෙළ අවුරුදු දෙක හමාරක් තුනක් වගේ මුළු කාලෙ ම මට කුරුටු ගාන ආසාවක් තිබ්බද කියල මට ම අමතක වෙන තරමට හුස්මක් ගන්නවත් වෙලාවක් ඉතිරි නොකර ම කාලය ගලාගෙන ගියා.
පත්තර, පොත් වගේ මුද්‍රිත මාධ්‍යයට සීමා වෙලා තිබුණු මගේ ලෝකය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයටයි, සමාජ ජාල වෙබ් අඩවි වලටයි ලං වෙන්නෙ ඊටත් පස්සෙ. උසස් පෙල විභාගෙන් පස්සෙ ගෙවුණු අරාජික කාලෙදි සයිබර් අවකාශයෙ බිහි වුණු සුන්දර ම ලෝකයක සැරිසරන්න මටත් ඉඩක් ලැබුණ. ඒ තමයි බ්ලොග්. හිතෙන හිතෙන හැම දෙයක් ම කොළ වල කුරුටු නොගා සයිබරේ කුරුටු ගාන්න ආසාවක් මටත් ආවෙ නිරායාසයෙන්මයි.
හිතේ තිබුණු ආසාවට පටන් ගත්තු පළවෙනි ම blog එක ගෙදර නිසි බලධාරියාගෙ (ඒ කියන්නෙ අපේ අම්ම) අණ පරිදි අත ඇරල දාන්න වුණා. (Blog එකත් එක්ක වෙන කිසි  ම වැඩක් කරන්නෙ නෑ  ලු මම. ඒක තමා ඉතින් හේතුව.)
ඒක නිසා මාස හයක් විතර යට වෙලා තිබ්බ blog හීනෙ ආයෙත් මතු වුණේ කැම්පස් ආවට පස්සෙ. ලියන්න, හිතන්න ලොකු නිදහසක් නැති වුණත් කොළවල කුරුටු ගාන දේවල් සයිබරේ පල කලොත් හොඳයි කියල හිතුණු නිසා ආයෙමත් blog හීනෙ අළු ගසල දාල අලුතින් ම පටන් ගන්න හිතුවා. තව ඉස්සරහට ලියන්න රස කතා ගොඩකුත් තියෙයි, කැම්පස් එක නිසා. ඇත්තට ම මම කුරුටු ගාන්න සුදුසු කෙනෙක් ද, නැත්නම් ලියන්න සුදුසු කෙනෙක් ද කියල තීරණය කරන එක මේක කියවන ඔයාලට බාරයි. එහෙමනම්, ඉදිරියට මුණ ගැහෙමු.
[ඉවර කරන්න කලින් මට කියන්න ම ඕන තව එක දෙයක් තියනව. ඒක තමයි මෙදා blog එක ගැන කියද්දි මට කියන්න තියන වැදගත් ම දේ. ඒ තමයි මේ blog එක හදන්න උදව් කරපු කෙනා ගැන. මේක මෙච්චර ලස්සනට පේන්නෙ පැය ගාණක් තිස්සෙ තමන්ගෙ වැඩක් වගේ ම කරදර වෙවී blog templates හොය හොය මට ම හරියනකම් මේක edit කරපු මගෙ හොඳ ම යාළුවා, ලක්ෂාන් නිසා. මගෙ කුරු කුරු ඔක්කොම අහන් ඉඳල අන්තිමට ලස්සනට ම වැඩේ කරල දුන්නට ගොඩක් ස්තූතියි. ( හිතේ හැටියට හදල දෙන්න  බැරි වුණාට sorry ඉතින් කියල ආයෙ කියන්න නං ඔට්ටු නෑ ඔන්න.) Phone එකෙන් blog ලියන්න ඕන කරන අනික් උපදෙස් දුන්නටත් ආයෙ ආයෙත් ස්තූතියි. ගොඩක් අයට blog සාමාන්‍ය දෙයක් වුණාට මම තවම ඒකට අලුත්.
කොච්චර ලිව්වත් සමහර දේවල් ගැන වචන වලින් ලියන්න ගියාම හැඟීම් වල වටිනාකම අඩු වෙනව. ඒක නිසා මේ කරපු උදව් වල වටිනාකම අඩු කරන්න මම අකමැති නිසා කෙටියෙන් ආයෙ පාරක් ස්තූතියි කියල මම අදට නවතින්නම්.]

4 comments:

  1. හහා මාත් 2 වසරේ ඉද්දී ෂර්ලොක් හෝම්ස් කියවපු … පන්තියේ මුල්ලකට වෙලා හිටපු එකෙක් තමා … කියෙව්වට පස්සේ තමා තේරුනේ හොඳම යාලුවෝ උනේ නිකන් නෙවේ සමානකම් ගොඩක් තියනවා කියලා … දිගටම ලියන්න… ආසාවෙන් ඉන්නේ කියවන්න … sorry කිව්වේ ඉතින් නිල් පාට ඉල්ලුවම කොළ පාට එකක්නේ ඉතින් හදලා දුන්නේ :D
    ජය …!

    ReplyDelete
    Replies
    1. ඉතිං නිල් පාට නැති වුණාට මේ පාටටත් මම කැමතී... පොඩි කාලෙ පන්තියෙ මුල්ලකට වෙලා ඉන්න ඇති කියන එක නම් පිලිගන්න පුළුවන්, අර මතකද තුන වසරෙ ඉද්දි කෙල්ලෙක් හොඳ comment එකක් දුන්නෙ. :P කියවන්න ආසාවෙන් ඉන්නව කියපු එක නම් ලොකු හයියක්. First blog post එකේ first comment එක දුන්නට thank you! (දැන් ඒකත් කියන්න එපා කියන්නකො ඈ :D ) හැබැයි ඉතිං නවත්තලා තියන ඔයාගෙ blog එකත් ආයෙ පටන් ගන්නව නං සතුටුයි. මම දන්න විදිහට නං මට වඩා හොඳට ලියන්න පුළුවන්, මට වඩා ලොකු පොත් කාවෙක් ඔයා. :D

      Delete
  2. දිගටම ලියන්න හරි ශෝක්. Twitter එකෙන් දැකලා ආවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බණ්ඩා අයියේ... twitter දන්නව වුණාට blogger කෙනෙක් කියල දැනගෙන හිටියෙ නෑ. බොහොම සතුටුයි අඳුරගන්න ලැබුණට සහ අත්දැකීම් තියන කෙනෙකුගෙන් මේ වගේ comment එකක් ලැබුණට. ස්තූතියි ආයෙත්. ඉස්සරහටත් අදහස් ගොඩක් වටීවි. :)

      Delete