අපි කාගෙත් ජීවිතේ ගතවෙලා ගියපු කාල අතරින් ආයෙමත් යන්න අවස්ථාවක් ලැබුණොත්, කතා දෙකක් නෑ... අපි කවුරුත් කියන්නෙ ඉස්කෝලෙ කාලෙට යන්න කැමතී කියල. වචන වලින් කියන්න බැරි තරම් සුන්දර අත්දැකීම් ගොන්නක් එක්ක හීනයක් වගේ ගෙවිල ගියපු ඒ කාලෙ ජීවිතේ ඉස්සරහට ගත වෙන හැම කාලයක් තුළ ම ජීවමාන ව ජීවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දඟ වැඩ, හොර වැඩ, හොඳ වැඩ ඔක්කොම මිශ්‍ර වුණු වටිනාකමක් කියන්න මිනුමක් දන්නෙ නැති ඒ ලස්සන කාලෙ ඉවර වුණු අලුත ම වගේ, හිතට ආපු සිතුවිල්ලක් අකුරු කලා. මේක පල කරන්න ඒ දවස් වල බ්ලොග් එකක් තිබුනෙ නැති නිසා මුහුණුපොතේ බිත්තියෙ එල්ලුවා. දැන් අවුරුද්දකට විතර පස්සෙ ආයෙමත් පෝස්ට් එක උඩට ඇවිත්....( මං හිතන්නෙ අලුත ඉස්කෝලෙ කාලෙට සමුදුන්න අපේ ඈයො නිසා වෙන්න ඇති.)
මේක දැක්ක ම මගෙත් මතකය ආයෙ ආයෙත් අලුත් වුණු නිසා නැවත පල කරන්න හිතුවා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴
කොළ පාට ටයි පටිය
සුදු පාට රැළි ගවුම
ආයෙමත් නොදකින
හීනයක් විතරමයි
තුදුස් වසරකට කලින්
යද්දි මං ගේට්ටුවෙන් ඇතුළට
කට ඇරිල හීනියට
ඇස් දෙකත් ලොකු වුණා
"අම්මෝ! ඉස්කෝලෙ මෙච්චර ලොකු ද?"
"ආලෝකො උදපාදි"
බර වැඩියි ඔලුවට
තේරුණේ නෑ මුලදි
පන්තියෙ පිට්ටනියෙ
වේදිකාවෙ මතු නොව
කැන්ටිමෙත්
සුපිරි තරු
බිහි වුණා අපි අතරෙ
පුළුවන් නම් නනවත්තන්න
නවත්තල ගොඩක් කල් මං
කාලය
ගතවුණු එක හොදයි
ඊටත් වඩා
නුඹල එක්ක
"අාලෝකො උදපාදි"
හිතුවටත් වැඩිය
බර වචන දෙකක්
වැටහුණේ නොදැනී ම
ටිකෙන් ටික මටත්...
එළිය වෙනකොට
ජීවිතේ
අවුරුද්දකට කලින්
එද්දි ඒ ගේට්ටුවෙන් එළියට
ඇහැට කදුලකුයි
ළයට සුසුමකුයි එක්ක
ආයෙමත් හිතුණ
එදා වගේ ම
"ඉස්කෝලෙ මෙච්චර ලොකු ද?"
෴෴෴෴෴෴෴෴෴෴෴෴
Showing posts with label පරණ කවි. Show all posts
Showing posts with label පරණ කවි. Show all posts
සොඳුරු අතීතය
Subscribe to:
Posts (Atom)