නෙලා ගනු බැරි- හන්තාන සිහිනේ

කවදහරි දවසක හොඳට ඉගෙනගෙන කැම්පස් යනව කියන ආසාව හිතේ පැලපදියම් වුණේ මගේ මතකේ විදිහට නම් මම අට වසරේ ඉද්දි. ඒ්කට හේතුව වුණේ ඒ වෙද්දි ඥාති සහෝදරයෙක් උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලය ට සුදුසුකම් ලැබීම. ඒ වෙනකොට අට වසරෙ පුංචි එකියක් වෙච්ච මට නම් ඒක ලොකු දෙයක් වුණා. එයා ගේ තේරීම වුණේ කන්ද උඩරට හන්තාන පාමුල මහා තක්සලාව; මෙහෙම වැල් වටාරං නැතුව කිව්වොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එදා ඉඳල පේරාදෙණිය මගේ හීන ලැයිස්තුවේ උඩින් ම තිබුණා. "කවද හරි පේ්රාදෙණි යනවා" ඒක තමා මගේ හීනය වුණේ. කොටින් ම කිව්වොත් මටත් පේරා උණ හැදිල හිටියේ. සති දෙක තුනකට සැරයක් අයිය ගෙදර ආවම කියන කතා ලොරිය ඇහුවම ආසාව තව තව වැඩි වුණා.( පොඩි එකා නිසා මාව ගණන් ගන්නෙ නැති එයා ඔක්කොම කතන්දර කියන්නෙ එයාගේ පුංචිට, ඒ කියන්නෙ අපේ අම්මට. කුස්සියෙ ඉඳගෙන අම්ම හදල දෙන කිරි තේ එකට වග කියන ගමන් දිග අරින කතා මල්ල මං අහ ගන්නෙ කුස්සියෙ දොර මුල්ලට වෙලා කිසි සද්දයක් බද්දයක් නැතුව.) 

ඊලඟට තමයි හොඳ ම හරිය තියෙන්නෙ. ඉස්කෝලෙ ගියා ම යාළුවො සෙට් එක වට කරගෙන ඇසු දුටු ප්‍රත්‍යක්ෂ වගේ අර කතා ලොරිය ම හැලුවම කට්ටියගේ ඇස් ලොකු වෙලා කටවල් ඇරෙද්දි කාටද ආඩම්බර? ඔහොම කාලයක් තිස්සෙ පේරාදෙණි ආදරේ දළු දාගෙන එද්දි 2009 සැප්තැම්බර් වල සිද්ධ වෙච්චි එක්තරා සිදුවීමක් නිසා මට සිදු වුණා මට ම අභියෝග කරගන්න. මම කවද හරි මොරටුවට ගිහින් ම පෙන්නනවා කියන තදබල සිතුවිල්ල ඇති වීමත් එක්ක පේරාදෙණිය ගැන හිතේ තිබුණු හැඟීම් පේන්නෙවත් නැති අහුමුල්ලකට තල්ලු වෙලා ගිහින් මාත් නොදැනුවත්ව ම. හිතට ඉඩ නොදී බුද්ධියට විතරක් ඉඩ දීපු අවුරුදු 4ක අවසානයේ මට පුළුවන් වුණා ඒ තදබල සිතුවිල්ල, සිතුවිල්ලක් පමණක් වෙන්න ඉඩ නොදී හැබෑවක් කරගන්න. අන්තිමේ දි මම පේරාදෙණියට අත වනල ඇවිත් මොරටුවේ පැලපදියම් වුණා. 

ස්වභාවයෙන් ම මිනිස්සු ලැබුණු දේ ගැන සතුටු වෙන තරමට වඩා නොලැබුණු දේ ගැන පසුතැවිලි වෙන ප්‍රමාණය වැඩියි. ඒක නිසා ම මේ තරම් හොඳ විශ්ව විද්‍යාලයක ට පය තියන්න ලැබුණු වාසනාව හමුවේත් මට තවමත් සමහර වෙලාවලදි අර අහුමුල්ලකට තල්ලු වෙලා ගිය හන්තාන සිහිනයේ සුන්දරත්වය මතක් වෙලා හීල්ලෙන්නෙ නැතුවම නෙවෙයි. ඒක හරියටම කවුරු එක්ක දීග ගියත් අමතක කරලා දාන්න බැරි ප්‍රථම ප්‍රේමය වගේ හැඟීමක් වෙන්න ඇති කියල මට හිතෙනවා. මගේ විශ්වවිද්‍යාලය විදිහට මොන කටුක බව විඳගෙන වුණත් මම මොරටුවට ආදරය කරන තරමට ම පේරාදෙණියේ රොබරෝසියා මල් වැටුණු මං මාවත් වලටයි, හන්තාන කඳු මුදුන‍ෙ මිහිදුම් සළු වල දැවටිලා ඇවිත් කන ලඟ රහස් කොඳුරන මඳ පවනටයි මම ආදරය කරන නිසා ම ඉඳ හිටල මේ විදිහෙ අදහසුත් ලියවෙනව.

පිය සබඳ හන්තාන
මම නුඹට පෙම් කලෙමි
අදත් එය එසේමැ'යි
හෙටත් ඒ ලෙසින්මැ'යි
නුදුටු පෙම් සිහිනයේ
සදා කල් හිඳින්නම්....
හිතට ගල් ගැසූයෙම්
තලා පාගා දැමූයෙම්
තව ම පණ ගැහෙන්නේ්...
නුඹ නමින්මැ'යි සබඳ
කටු පොකුරු වැලි තලා
මිස නොමැත තුරු ලතා...
සිහිනෙනුත් පෙනෙන්නේ
සොඳුරු රොබරෝසියා
නුදුටු පෙම් සිහිනයේ්
නිදන්නෙම් සෑම දා....
හන්තාන මම නුඹට
සදා කල් පෙම් කලා...
නුඹෙ සිරුරෙ දැවටිලා
මඳ පවන පැමිණිලා
මගෙ කනට කොඳුරලා
නුඹෙ නම ම මතුරලා
සිහිනයක සතපවා
හිත අරන් දුර ගියා.....
මිරිඟුවක් මේ තරම්
හිතක ඉඩ ගනී නම්...
සැබෑ සිහිනයක් නම්
මිහිරියි ද කොයි තරම්...
එපා මට පමුණන්න
තහංචිය ආදරේ....
නොලැබෙනා සිහිනයට
මම තවම පෙම් කරම්....

2 comments:

  1. අදමයි මේ පැත්තට ආවෙ. පුදුමෙ කියන්නෙ සාකියගෙ කතාවත් තාරාගෙ කතාවටම සමානයි. ඒත් දැන් නම් සාකියා හන්තානට වඩා මොරටුවට පෙම් කරනවා.
    Google Friend Connect ගැජට එක එල්ල ගත්තා නං අපිට ඔයාගෙ පෝස්ටු උණු උණුවෙම බලාගන්න පුළුවන්.
    දිගටම ලියන්න! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාකියා මේ පැත්තට ගොඩවැදිලා යන්න ආවට. Google+ followers gadget එකත් දැම්ම ඔන්න. බ්ලොග් එක පැත්තෙත් ආව, එතකොටයි දන්නෙ IT faculty යෙ කියල, කැම්පස් එකේදි මුණගැහෙමු. පේරාදෙණියට තියන ආදරේ වගෙ ම තමා... මොරටුවටත් ආදරෙයි. ;) :D

      Delete