පුතුනේ.... මේ අහගන්න පුතුනේ....

අම්මලගෙ ආදරේ ගැන කොච්චර මොන දේ ලිව්වත් වටිනාකම ගැන නිර්වචනයක් දෙන්න අමාරුයි. මේ ලෝකෙ තියන පරාර්ථකාමී ම ආදරේ.... ආදරේ ලබන දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවෙන, ලොකේ තියන දරුණුම වේදනාවත් පුත්‍ර ස්නේහය නිසා ඉවසන, තමන්ගෙ ඇඟේ දුවන ලේ ටික පවා කිරි කරල දරුවන්ගෙ කුස පුරවන, අම්මෙකුගෙ ආදරේ දිග පළල මනින්න පුළුවන් ද? අපේ ජීවිත වල යෝධ සෙවණැල්ල වෙච්චි, අපේ කඳුලු පිසදාන්න කඳුලු ගඟක් වුණත් තමන් ම ඉවසපු, දරුවෙකුගෙ පුංචි වේදනාවකටත් හිත රිද්දගත්තු, නමුත් තමන් ට දැනෙන එකම වේදනාවක්වත් නිහඬ ව, නොහඬා ඉවසපු අම්මා....
කොයි තරම් ආදරේ හොයාගෙන ලෝකෙ වටේ ම ගියත් අන්තිමට අම්මගෙ ආදරේ ලඟ හිත නතර වෙන බව කියන්නත් දෙයක් ද?
"නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ....."

යනුවෙන් කපුගේ ගැයූවෙත්.,
"සෙනෙහස වැඩි දා සිත ද බොලඳ වේ
ලොව ම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවුණු දා..
අම්මා පමණයි ලඟ ඉන්නේ"

යනුවෙන් නන්දා මාලනිය ගැයුවෙත් ඒ නිසා වෙන්නැති.කර දණ්ඩ උස් මහත් වෙලා  අපි ලොකු මිනිස්සු වෙද්දි, අම්මගෙ ලෝකේ පුංචියටත්, අපේ ලෝකේ මහ ලොකුවටත් පේන්න ගනිද්දි අම්මලගෙ තීරණ, අම්මලගෙ උපදෙස්, අම්මලගෙ ආදරේ අපිට මගඇරෙද්දි
මහමෙරටත් වඩා දුක් උහුලන අම්මලගෙ හිත් රිදෙන වචන කියවෙන වාර අනන්තයි. අපි මේ ලෝකෙට බිහි වුණු දවසෙ විඳපු වේදනාව වගේ දස දහස් ගුණයක වේදනාවක් ඒ කටු තුඩු වගේ වචන පපුවට කිඳා බහිද්දි ඇගෙ හිතට දැනෙනව ඇති. ඒත් ඒ ආදරේ එහෙමමයි. කිසි වෙනසක් නෑ.... නුඹල අපි කවුරුත් අපේ අම්මලට හැමදාමත් අර පුංචි කාලෙ ඇකයෙ නිදපු පුංචි උන් ම තමා. අම්මෙකුගේ ආදරේ බර කොයිතරම් ද කියල තේරුම් ගත්ත දවසට අපිත් ආදරේ තේරුම් ගනීවි.
෴෴෴෴෴෴෴෴
දිවි ගඟුලේ වැල් පාලම
කැඩී බිඳී විසිරුණු දා
අත්වැල ගිලිහී ගියමුත්
කඳුලු බිඳක් නොහෙලිමි මා
පුතුනි නුඹේ ටිකිරි සිනා
හිතට සෙමෙර සැලූ නිසා

කිරි සිනා හසරැල්
පිරුණු මුව
සිඟිති දඟ පෑ
ලපටි අත පය
නිතර දොඩමලු
නිල් දෙනෙත් යුග
පුතුනි මට
මහමෙර වගෙයි....
කඳුලු පිසදා
සිනහ කැන්දන

නුඹ මගේ ලොව තනි නිරින්දා
මගේ පණ සම මැණික හින්දා
සතර අත වැට කඩුළු බන්දා
නුඹ ව රකිනෙම් මා බිලින්දා

දහදියෙන් කඳුලින් නැඟී
පුතුනි නුඹ දිවි දිනූ දා
කඳුලු බිඳුවක් නෙතග පැටලී
මඳහසක් මුව අගෙහි තැවරී
මං මගේ ලොව රැජිණ වී
කිරුළු දැරුයෙම් නුඹ අතින්....

නුඹ වැදූ මව් මමයි පුතුනේ්
නුඹ හැදූවෙත් මමයි පුතුනේ
නුඹට මව් පිය දෙදෙනමත් මං
පහන් කණුවයි ජීවිතේ.....

දෑතෙ නැලවුණු
ටිකිරි කුමරුන්
නුඹ ද පුතුනේ
ඉස්සර ම දා
අද මිනිසෙකී
කරදඬු මහත් වී.....

දකින විට නුඹෙ
පුංචි වෙනසත්
හිත හීනියට
රිදුම් දුන්නා...
ඇසුණු දා රළු පරළු බස්
නුඹෙන් මට
කඳුලු ගුලි
දෙනෙත'ගින් පැන්නා....

පුංචි දේටත් දුක හිතී
කඳුලු පුරවන් ඇස් දෙකේ
පුංචි සන්දියෙ හැඬුවෙ නුඹම ද.....
පුංචි සැකේකි මගෙ හිතේ්...
නෑ පුතුනි මට වරදින්න ඇති
තරහවක් නෑ මගෙ හිතේ...
හැමදා ම නුඹ මගෙ මැණිකමයි
කිසිම වෙනසක් නෑ මගේ...

දුකට නෙත් අග
පිරුණු කඳුලැල්
නුඹට
බර වැඩිදෝ....
මන්දා
සමාවෙනු මැන
පුතුනි මට
මම හැමදා ම
නුඹෙ මවුන් හන්දා......

෴෴෴෴෴෴෴෴෴

3 comments:

  1. නියමයි තාරා! ඇත්තටම ලස්සනයි. . . කතාවක් වගේ ගලාගෙන යනවා. . .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකට කතාවක් තියනවා සාකියා..... දෙයක් නිසා හිත රිදුනු නිසා ලිව්ව එකක්.

      Delete
    2. නිවාඩු වෙලාවක කතාවත් ලියලා දාන්ට අනේ (තිතක්)

      Delete